පෙරදිග මුසුව (Oriental Fusion)


ලාංකීය සම්භාව්‍ය සංගීතයක් අද්දැයි කිවනොහැක. මට මතකයි ප්‍රබුද්ධ/පීචං සංගීත ගැන විවාදයක් කලකටපෙර. සුනිල ශාන්ත, රන්වල බැද්දගේ ආදීන් ගේ උත්සාහයන් හැරුණුකොට සැළකියයුතු ශ්‍රී ලාංකීය යැයි කිවහැකි සංගීතයක් අපට තිබේද?

සිංහල ජනශ්‍රැතිය ශාස්ත්‍රීයව අද්‍යනයක යෙදෙන අමරදාස වීරසිංහ මහතා පවසන්නේ සිංහල ජන සංගීතය බොහෝවිට ස්වර හතරක් හෝ වැඩිම වශයෙන් පහක් ආශ්‍රිතව ගොඩනැගී ඇතිබවයි(පූර්ව ස්වර චතුස්ඨකය-ස,රි,ග,ම). ඉන්දියානු රාගධාරී සංගීතය හදාරා ලංකාවට පැමිණි විශාරදයන්ට ස්වර හතරක සංගීතය විහිලුවක්විය(අශ්ඨක දෙක තුනක් හරහා විහිදෙන). බටහිර සම්භාව්‍ය සංගීතය උගත් අයට (ස්වර 12 අමතරව එකවිට ස්වර තුන හතරක chordal Harmony යොදාගන්නා) මේ දෙකම විහිලුවක්විය. එයින මෙයින් “හේනේ පැල ඉනි වැට බැඳලා” ගයන්නට උවමනාවූ තරුණ පරපුරට අවසනයේ සිදුවූයේ, තම ගීය මේ තුන්ගොල්ලන්ටම නැති බයිලා බීට් එකට ගැයීමටයි.

මට මේ කතන්දරය කියන්නට හිත් වූයේ ලංකාවේ තරුණයන් කිහිප දෙනෙකුගේ සමූහ වාදනයක් U-Tube හි දැකීමෙන්පසුවය. Oriental Fusion නැමැති සංගීත කණ්ඩායමේ මෙම උත්සාහය පැසසි යුතු ලක්ශණ කිහිපයක් පෙන්වයි. අපේ බොහෝ බටහිර සංගීතය ශ්‍රාවකයන් නතරවන්නේ ඔසීගේ හෝ මෙටලිකාලාගේ මොෂ්-පිට්වල පතුලේ ගංජාගැසූ තඩි ඇමරිකානුවන්ගේ පයට පෑගීයන මිලියනයක් අතර තවත් එක්අයකු පමණක් බවට පත්වෙලාය. මේ මොෂ්-පිට්වල රඟ හැබැහින් නොදැක බංබලපිටියේ රස්තියාදුවන හිප්-හොප්/බ්ලැක්-මෙට්ල් මල්ලිලාට නූතනත්වයේ නාමයෙන් දයාන් ජයතිලක අංකල්ලා තවතව ලනු දෙයි.

නමුත් මේ Oriental Fusion තරුණයන් කිහිප දෙනා ඊට ටිකක් වෙනස් මගක් තෝරාගැනීමම පමණක් උවද පැසසි යුතු කරුණකි. ශීල්පීය, නිර්මාණාත්මක හා කලාත්මක අංශවලින් තව බොහෝ දුර යන්නට මේ තරුණයන්ට ඇතත්, හරි පැත්තට හැරිලා ස්ටාර්ට් කරගත්තු එකත් ජයග්‍රහණයක් කියලායි මම හිතන්නේ. ඔබට අතරමග නොනැවතී ඉදිරියට යාමට ධෛර්යය ලැබේවා!

සංගීතය: පාද පද්ම (Lotus Feet)

පසුගිය වසර කිහිපය තුල මාගේ ප්‍රධානම විනෝදාංශය වීඇත්තේ සංගීතයයි. ගී ගැයීමට කිසිදු සහජ හැකියාවක් නැති නමුත් වාදනයට හා එහි ශාස්ත්‍රීය අංශයට කවදත් මම ඇලුම්කලෙමි. ලංකාවෙදී අපට අසන්නට ලැබෙනවාට වඩා ඉතා පලුල් පරාසයක සංගීත වර්ග පහසුවෙන් විදේශ රටවලදී අසන්නට/රසවිඳින්නට ලැබෙයි/සිදුවෙයි. මෙය ඉතා හොඳ දෙයක් යැයි සිතුනද එක් අතකින් නරකක්ද ඇත. එනම් කිසිවක් ගැඹුරින් ග්‍රහණයකරගැනීමට අවකාශයක් නොලැබීමයි. (අන්තර්ජාලය තුලින් කාටඋවත් දැන් ‍ඕනෑම ගීයක් මිලදී/හොරෙන් බාගතහැකි බව සැබෑවකි. නමුත් ඇසීම/රසවිඳීම මේ මිලදීගතහැකිවීමට එහාදිවෙන ක්‍රියාවලියකි)

සංගීතය විශ්ව භාෂාවක්යැයි බොහෝ අය කියති. නමුත් මට නම් සංගීතයේ කිසිම විශ්ව බවක් නොදැනේ. එයත් තවත් එක් (මියුරු)භාෂාවකි. එය ඉතාහොඳින් අවබෝධවන්නේ වෙනස් වෙනස් සංගීත වර්ගයන් අසනතරමටය, ඒ ඒ සංගීතයන්හි ශාස්ත්‍රීය අංශය අධ්‍යනයකරණ විටය.

තවත් වැදගත් කරුණක් නම් වෙනස් වෙනස් සංගීත වර්ගයන් අසනතරමට ගීත/සංගීතය තුල ගායනයට වඩා වාද්‍ය සංගීතය සංවේදනය වන්නට පටන්ගනුඇත. සංගීතයට ඌනනය කලනොහැකි ගී බොහෝ ඇත. නමුත් ඒ හැම ගීයක්ම සංගීතයක්/ගායනයක් නැතිව උවද එතරම්ම රසවත්ය. (මෙය ඉතා විවාදාත්මක මතයක් උවද අවම වශයෙන් ඒ මට හිතෙන හැටිය.)

මා ලියන්නට බලාපොරොත්තුවන සංගීත බ්ලොග් සටහන්වලට මේ පූර්විකාව හොඳටම ඇතැයි සිතමි.

මා ඉහත බොහෝවිට ශාස්ත්‍රීය යන වචනය යෙදුවත් ඒ ශාස්ත්‍රීය සංගීතය හෝ සම්භාව්‍ය සංගීතය යන අර්ථයෙන් නොවේ. ඉතා සරලව ගතහොත් ඕනෑම (සං)ගීතයක නාද රටා විශ්ලේෂණය කොට එහි ස්වර/ස්වර ‍පංති ඒආකාරයට පෙල ගැස්වී ඇත්තේ ඇයිදැයි සෙවීම ශාස්ත්‍රීය අංශය අදහස්කරමි.