බෝ ගහ යට තන(ණ) මිරිකන් අමරේ!!

ඕනෑම මානව සංස්කෟතියක ඇති ප්‍රධානම මෟදු/බුද්ධිමය නිෂ්පාදන/නිර්මාණ කිහිපය අතරිනුත් ප්‍රායොගිකව වඩාත්ම බහු ජන සහභාගීත්වයක් ඇතිව/බහු ජන ප්‍රජාතාන්ත්‍රික බවක් සහතව වැඩෙන සංඝඨකය වන්නේ හාෂාව බව මගේ හැගීමයි. බසෙහි ඇති සරල බව මෙන්ම එහි ඇති ගැඹුරු බව හා විවිධත්වයද ඒ මානව සමූහයේ ජීවන රටාව සිතුම් පැතුම් රුචි අරුචිකම් මෙන්ම බුද්ධිමය මේරුම්කමද හඳුනාගතහැකි නිර්ණායකයන්වේ. මෙහිදී මා කතාකරන්නේ සරල අර්ථයෙන් හාෂාව ගැන මිස හාෂාවේ ව්‍යවහාරයෙන් නිපැදෙන සාහිත්‍ය ගැනනොවේ (හරියට සිත්තරකු අත ඇති වර්ණ ඵලකය ගැන මිස ඔහුගේ සිත්තම ගැනනොවේ). එසේම මෙහිදී ජනවහරේ බස, විදග්ධ ප්‍රබුද්ධ ලිඛිත හාෂාව, රස්තියාදු පාදඩ බාසාව ආදී සියල්ල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට එකවිට සැලකිල්ලට ගැනීමට සිදුවෙයි – අර සිත්තරාගේ ඵලක‍ෙය් ඇති සමණළ වර්ණ පදාස මෙන්ම අඳුරු බොර ගුරු පාට තලිද ඇත්තාක්මෙන් (එක් එක් සංගඨකයට ගැලපෙන ප්‍රමාණාත්මක හා ගුණාත්මක බරක් දෙමින්). සිංහල හාෂාව සම්බන්ධයෙන් අ.පො.ස.(සා/පෙ)ට වඩා ඉහල දැනුමක් නැතත්, මුලු වෟත්තීය දිවියම සිංහ‍ලෙන් තොරව ගෙවෙතත් මට මේ සටහන ලියන්නට සිත්වූයේ මේ දින වල සිළුමිණ පුවත්පතේ පුන්කලස අතිරෙකයේ දිගහැරෙන හාෂාව පිළිබඳ ප්‍රශ්නය විවාදය කියැවූ පසුවයි. (ඔව් ඉඳ හිට සිළුමි‍ණෙත් කියැවිය හැකි දේ තිබේ )

බ්ලොග්චාරීන් ගේ පහසුව පතා එම විවාදයේ මතුකෙරෙන අදහස් අතරින් මා වැදගත් යැයි සලකන අදහස් කිහිපය සැකෙවින් මෙසේ දක්වමි.(මේ බ්ලොග තේරුම් ගැනීමේ පහසුව සදහා මා මෙම කරුණු උපුටා දැක්වූවත් පුළුල් අවබොධයක් ලබාගැනීමට කරුණාකර මුල් ලිපි කියවන්න)

සති කිහිපයක් තිස්සේ අතරින්පතර පලකෙරෙන ලිපි කිහිපකින් මේ විවාදය කෙරේ. එක් පාර්ශවයක් කොළඹ සරසවියේ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ සේපාල් අමරසිංහ වන අතර‍ අනෙක් පසින් ඇමරිකාවේ කොර්නල් සරසවියේ ආචාර්ය ලියනගේ අමරකීර්ති වෙයි.

තේමාව සිංහල භාෂාවේපරිහාණියට හේතුවුනු නණලළ සහ අනෙකුත් සංස්කෟතික ආරක්ෂණ වාදය හා සංස්කෟතික නවීකරණවාදය ආදිය.

1. සාමාන්‍ය/සාම්ප්‍රදායික සිංහල අක්ෂර වින්‍යාසය අත හැර ණ ළ ළු ෂ අකුරු නැතිව සිංහල කට වහරින් ලිවීම ප්‍රචලිත කිරීමේ ව්‍යාපෟතිය (සිරි ගුනසිංහ, අජිත් තිලකසේන ආදීන්) අවසාන වශයෙන් මග පෑදුවේ හරියට සිංහලවත් ඉංග්‍රීසිවත් බැරිව ඔළුව නැති ඔළු චැනල්වල සිංග්ලිෂ් ඇදබානා අඳබාල නංගිලා මල්ලිලාගේ බාසාවට බව අගලකඩ සිරිසුමන හිමි සහ අනෙකුත් රෙද්ද උස්සාගෙන සිංහල රැකගන්නට දඟලනවායැයි අමරකීර්ති කන්ඩායම සළකන අය පවසයි.

2.නමුත් සිරි ගුනසිංහ, අජිත් තිලකසේන අදීන් උත්සාහ කළේ සිංහල කටවහර ඇසුරින් ලේසි ව්‍යවහාර බාසාවක් හදාගන්නට බවත් එහෙම කෙරුවානං මේ ඔළුව නැති ඔළු චැනල්වල සිංග්ලිෂ් ඇදබානා උන් සිංග්ලිෂ් වෙනුවට අර ලේසි සිංහල කතා කරනු ඇති බව ලියනගේ අමරකීර්ති කියයි.

සිංහල සාමාන්‍ය/සාම්පුදායික අකෂර වින්‍යාසය (මට හිතෙන විදියට මෙහිදී සාම්පුදායික යන වචනය යොදාගැනීමමත් පොඩි ඇමරිකන් මානසික යුද්ධ උපක්‍රමයකි) හාස්‍ය මුසු විවේචනයකට ලක්කරන අමරකීර්ති, සිංහල සාමාන්‍ය අකෂර වින්‍යාසය නවීකරණය කීරීමෙන් (ණ ළ ළු ෂ අකුරු අතහැර ලිවීමෙන්) නව රසයන් මැවිය හැකි (අර්ථ ජනන ශක්තිය වැඩිකර ගත හැකි) අයුරු මෙසේ පෙන්වාදෙයි.

බෝ ගහ යට තණ පොඩි කල ජිනරතන යන්න ගන්න. දැන් මෙහි අර්ථ දෙකක් ඇත. ජිනරත්න නැමැත්තා බෝ ගහ යට තණකොල පොඩි කර ඇත. නැත්නම් බුදුන් බෝ ගහ යටදී තෟෂණාව පරාජය කර ඇත. ඒ කවිපදය මෙහෙම ලියමු: “බෝ ගහ යට තන පොඩි කල ජිනරතන දැන් ඊට තවත් අර්ථයක් ඇත. ජිනරතන නම් කොල්ලා (නැත්නම් සාමනේර නම) බෝ ගහ යටදී පොඩි කොලුකමක් කර ඇත! ජන කවිය හඬගා කියන කල අකෂර වින්‍යාසය නොපෙනෙන නිසා, එනම් ණ සහ න අතර උච්චාරණ වෙනසක් නැති නිසා මේ අර්ථ තුනම එකවර රසික මනසේ ක්‍රියාත්මක වන්නට පුළුවන. …. ඒ නිසා එක්කරන හාස්‍ය සහ සෙල්ලක්කාරකම කවියෙහි නාටකීයත්වය වැඩිකරයි. එහි එන අන්දමේ මනරම් කොලුකම්සහිත ගැටවර වියේ ගත කළ මම නම් ඒ තුන්වෙනි අර්ථයට බෙහෙවින් කැමැත්තෙමි.

දැන් මගේ විග්‍රහය

සමහරවිට තන මිරිකන සෙල්ලක්කාර මනරම් කොලුකම් සහිත ගැටවර වියක් නොතිබුනාවිය හැකි සංගයාවහන්සේ නමකුත් හවුල්කරගෙන කරනා විවාදයකදී එක පාරශවයකට අඩුමතරමින් ප්‍රසිද්ධියේ හුවමාරුකරගත නොහැකි අත්දැකීමක් මේ විවාදට අනුපානවශයෙන් ගැනීම තරමක අසාධාරණ හා ශාස්ත්‍රීය සදාචාරට එරෙහි ෆවුල් පහරක් යැයි විටෙක සිතුනත් එය අර රෙද්ද උස්සාගෙන සදාචාරය රැකිනා අය අමරකීර්ති සමග බේරාගතයුතු ගනුදෙනුවකි.

සරලව ගත් කල අමරකීර්ති කියන්නේ ණනලළ බේදය නොසලකා ලිවීමෙන් සාහිත්‍ය කෟතියක රසය නැති වෙනවා වෙනුවට අවශ්‍යනම් රසය වැඩි කර ගත හැකිබවයි. මට එක් අතකින් මේ තර්කයේ ඇත්තක් ඇතැයි සිතුනත් ටිකක් දුරට සිතා බලද්දී එහි ඇති අඩුව හෙවත් නිර්මාණාත්මක දිලිඳු බව ඉවෙන් මෙන් දැනෙයි.

සිරි ගුනසසිංහ, අජිත් තිලකසේන ආදී සංස්කෟතික නවීකරන වාදීන්ට තම නිර්මාණාත්මක ප්‍රතිභාවන් දියුනු තියුනු කරන්නට යාමේදී අප සංස්කෟතියේ/භාෂාවේ ඇති යම් යම් පුරුදු/රීති/නීති බාදා වැට කඩොළු මෙන් පෙනෙයි. මෙය සිංහල සාහිත්‍යට පමනක්/සිංහල සංස්කෟතියට පමනක් සීමාවූ ප්‍රශ්නයක් නොවන බව මගේ හැගීමයි. මෙලොව ඇති ඕනෑම සංගත පද්ධතියක ඇති ස්වභාවයකි. නමුත් සැබෑ නිරමාණ කරුවාගේ නිරමාණාත්මක බව මතුවන්නේ මෙම රීති කඩුල්ල පනිනා ආකාරය අනුවයි. අලුතින් ධනාත්මකව යමක් නිරමාණ කළ නොහැකි අඳබාල නොපුහුදුන් නවීකරන වාදියා පලමුවෙන්ම කරන්නේ පුරුදු/රීති/නීති කඩාබිඳ දැමීමයි(අතහැර දැමීමයි). නමුත් මා හිතන්නේ සැබැ නිර්මාණාත්මක නවීකරන වාදියාට නම් මෙම පුරුදු/රීති/නීති වලට නවඅර්ථදැක්වීමක් දිය හැකිවියයුතුය. මෙය නණලළ ප්‍රශණයේදී විසඳන්නේ කෙසේදැයි පෙන්වාදීමට මට(අඩුම තරමින් හරියට නණලළ ලියාගැනීමට වත් නොහැකි) නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය පුළුවන්කමක් නැතත් ඒ සඳහා ඉතා රළු සරල හාස්‍ය මුසු යොමුවක් දක්වන්නට ඉඩදෙන්න.

මෙහි දී ප්‍රශ්ණය වී ඇත්තේ ලිඛිත බසින් සමහර වචන ලියද්දී එම වචන කියද්දී ඇති ව්‍යංග බව නැතිවී නිශ්චිත අර්ථයන් ලැබීමෙන් ලිඛිත බසින් ප්‍රකාශවෙද්දී සමහර සියුම් රසයන් අඩුවීමයි. නිර්මාණාත්මක නවීකරන වාදියකුට තමන්ට ව්‍යංගබව මතුකිරීමට උවමනා විටදී පහසුවෙන්ම(රැඩිකල්වී) එම වචන ලියනා විදිය වෙනස්කල හැකිය. ඉහත තනයම උදාහරණයට ගතහොත් තණකොල හා තෟෂණාව ගැන ලියන්නා තණ ලෙස ලියද්දී, පියවුරු ගැන ලියන්නා තන ලෙස ලියද්දී, තණකොල, පියවුරු හා තෟෂණාව යන මේ සියල්ල පටලවා රසිකයාට නන්නත්තාර සෙල්ලක්කාර රසයක් දීමට උවමනා ලියනගේට (අමරකීර්තිට) තන(ණ) හෝ තණ(න) ලෙස ලියාගත හැක(ඔව් සිරාවටම). එතකොට අර අර කවි පදය මෙසේ ලිවිය හැක:

බෝ ගහ යට තන(ණ) පොඩි කල ජිනරතන

ඔය වරහන් දෙක ටිකක් අමුතුවට පෙනුනාට ඉන් අවංකවම රචකයා ව්‍යංගයක් මතුකරන්නට උත්සාහකරනා බව නිශ්චිතව ප්‍රකාශවේ.මෙය එකවිටම විකාර අදහසක්සේ පෙනුනත් ටිකක් දුරදිග සිතා බලන විට මෙය රෙද්ද උස්සාගෙන දඟලන අය තව තවත් කුලප්පු කරගන්නෙත් නැතිව, තන මිරිකා ආතලයක් ගන්නට බලාසිටිනා (අමරකීරතිගේ) රසික මල්ලිලා(දැන් දැන් නංගිලාද)ගේ බලාපොරොත්තු සුන් කරන්නේත් නැතිව සිරිසුමන උන්නානසේටත් හොරෙන්ම කරගතහැකි කොළුකාර(සමලිංගික නොවේ) විසඳුමකි. නමුත් පැහැදිලිවම අමරකීර්තිලා මෙවැනි අතරමැද සමාදාන වලට සූදානම් නැතැයි මට සිතේ. ඔවුන් මස් රාත්තලම ඉල්ලන්නේ මීට වඩා දුරගිය ඉලක්ක ඔවුනට ඇතිනිසාද?

තවත් කරුණක් නම්, “ලංකාවේ පත්තර ලේඛකයන්” කරන්නාක් මෙන් චොම්ස්කිගේ අරපොත කියෙව්වොත් ඕකට උත්තර ලැබෙයි වැනි දේ කියන්නට අකමැති උවත්, අමරකීරති උපුටන එඩ්වඩ් සයිද් කෙසේ වෙතත් මට හිතෙන විදියට නෝම් චොම්ස්කි ගේ විශ්ලේශණ අනුව නම් මේ අකෂර වින්‍යාස අල්ලාගෙන කරන දැඟලිල්ල අන්ධයා අලියා විස්තරකරනවා වැනි අසම්පූර්ණ උත්සාහයකි.

භාෂා සාහිත්‍ය සිත්තරා අත ඇති වර්ණ ඵලකයේ ඇති තවත් එක් වර්ණයක් වැනි අක්ෂර වින්‍යසය මේ භාෂා සිත්තමේ සියුම් බව තවත් වැඩිකර ගතහැකි මෙවලමකි. අවශ්‍ය අයෙකුට කළු සුදු රේඛාවලින්ම පමනක් සිතුවම් ඇඳගත හැක.

ආශ්‍රය කරගන්නා කරුණු හා කරුණු විශ්ලේෂණය, තර්කාකිකත්වය අනුව සලකනවිට අමරකීර්තිගේ මතය ඉතා ශාස්ත්‍රීය ආකර්ශනීය බවක් පෙන්වයි. සිරිසුමන හිමියන්ගේ මතය ඉතා සරල, අශාස්ත්‍රීය සිංහල උත්තමවාදී, ගැඹුරක් නැති, ලිංමැඩි, ඒක මාන, නූතනත්ව විරොධී මතයක් බවට පත්කොට ඇත. නඩුවකදී නං උන්නාසෙට ඇපත් නැතිසේය. එහෙත් මට නම් පෙනෙන්නේ මේ ප්‍රශ්ණයේ සැබෑ යථාර්ථය නම් එතරම් සරල ජයග්‍රහණයක් අමරේට නොදෙනු ඇතිබවයි. අමරකීර්තිම නිවැරදිව පිලිගන්නා පරිදි මෙය නණලළ පටලැවිල්ලක් පමණක්ම නොවේ. සිරිසුමන හාමුදුරුවන් හා අනෙකුත් කොළඹ සරසවි ශාස්ත්‍ර පීඨයේ අය නොවේ මේ නඩුවේ සැබැ පැමිණිළිකාර‍යන්. මම හිතනා අන්දමට අමරකීර්තිගේම බුද්ධියේ/හදවතේ එක පැත්තකුත් තාමත් මේ නඩුවේ පැමිණිළිකාර‍යෙක්. අපිට නැත්තේ/අඩු සංස්කෟතික නවීකරණ වාදීන් නොවේ. අපිට නැත්තේ සංස්කෟතියක් වෙනස්වෙන්නට ඉඩදෙමින් එය සංවර්ධනය සහ සංරක්ෂණය කරගන්නට දන්නා අපේ යුගයේ ප්‍රාඥයන්ය. මා මේතාක් සිතාසිටියේ අමරකීර්ති එවැනි ප්‍රඥාංකුරයෙකු බවයි. එඩ්වඩ් සයිද් ගුරුකොටගෙනම උවනාව තිබේනම් අමරේට ත‍ව දුරටත් එවැනි ප්‍රාඥයකු විමේ වාසනාව ඇති බව මාගේ පැතුමයි.

අපේ සංස්කෟතිය තුල සංස්කෟතික නවීකරණ වාදීන්ට හා සංස්කෟතික ස්වයංවිවේචකයන්ට අසාධාරණ ප්‍රහාරයන් සැමදාම මේ ලිංමැඩි සංස්කෟතික උත්තමවාදීන් එල්ලකරන බවත් එයම අපේ පරිහානියට හේතුවීඇතිබවත් අමරකීර්ති කියනවිට තවත් පැත්තකින් හාන්සිපුටුවකට වී දුම් පයිප්පය මෑත් කොට කට කොනකින් පඩික්කමට (සිළුමි‍ණේ පුන්කලසට) කෙල පාරක් ගසන (කුහක) අමරසේකරයන් මෙසේ කියති.

ඔය අමරකීර්ති කියන එකාත් මගේ හිතේ මට එහෙන් මෙහෙන් පේනවා එන්. ජී. ඕ. වලට සම්බන්ධයක් ඇති. ඔය (ඇමරිකන්)විශ්වවිද්‍යාලවල ඕන එකෙකුට ගිහිල්ල උගන්නන්න පුලුවන්. මට මතකයි ඔය අමරකීර්ති එක සැරයක් ඉංග්‍රීසියෙන් ලියලා තිබුණා සරච්චන්ද්‍ර ඔය ශෛලගත නාට්‍ය ගැන පර්යේශණ කලේ ඇමරිකන් සල්ලිවලින් කියලා. ඕකත් මං හිතන්නේ ඇමරිකන් ගැත්තෙක් වෙන්න හදන්නේ මගේ හිතේ. ඕකුන්ව තියාගන්නවා මේ රටවල් ගැන අවබෝධයක් ලබාගන්න. මෙහෙන් යන හුඟක් අයගෙන් ඔය ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් උන්ට ඕනේ මේ රටවල් ගැන තොරතුරු ලබාගන්න. වෙනදේකටනෙවෙයි, උන්ගේ CIA වැඩවලට. ඒකට මෙහේ ඉන්න අය ගෙන්නල උන්ගෙන් තොරතුරු ගන්නවා. ඒකට සුදුසු අයව තෝරගන්නවා.දැන් ඔය එච්. ඒ. සෙනවිරත්න, ගනනාථ ඔබේසේකර ඕකුන් ඔක්කෝම ඒ සඳහා පාවිච්ච් කරපුකට්ටිය.

මට හිතෙන හැටියට නම් අමරේ මේවාට එතරම් කුලප්පු වියයුතු නැත. [මෙහි මුලින් පලවූ වැකි කිහිපය එතරම් සුදුසු නැති බව මට වැටහුනු බැවින් ඒවා මා විසින්ම කපා දමන ලදි.]

9 Comments

  1. July 10, 2007 at 10:07 am

    හිතවත් නාමල්,
    මේ කාලීන මාතෘකාව ගැන ඔබ ලිපිය පළ වෙද්දී මමත් සිළුමිණ විවාදය ගැන ප්‍රතිචාරයක් සම්පාදනය කරමිනුයි හිටියේ. දැන් එය මඳක් වෙනස් කොට බ්ලොග්අවකාශයට මුදා හළ හැකියි. දැනට සාකච්ඡාව මෙතන කරත හැකි.

    නාමල් යෝජනා කරන ව්‍යාකරණ සම්මුතිය ව්‍යාකරණ සම්ප්‍රදාය A හැටියට හඳුන්වමු. ඒ යටතේ මූර්ධජ දන්තජ භේදය පවතිනවා. ඒ වගේ ම මෙන්න මේ වගේ වාක්‍ය ලියැවෙනවා : මම ලිපියක් ලියමි – නිසි පුළුලුකුළ රිය සක යුරු තිසර තන – ගවේෂණය

    අමරකීර්ති යෝජනා කළ සම්මුතිය B ලෙස ගනිමු. එයට අනුව මූර්ධජ අක්ෂර පිල්ලම් ආදිය සමරූප කෙරෙනවා. මෙන්න මේ වගේ ව්‍යාකරණයක් එහි තියෙන්නේ : මම ලිපියක් ලියනවා – නිසි පුලුලුකුල රිය සක යුරු තිසර තන – ගවේශනය (මගේ මේ සටහන ලියැවෙන්නෙත් මූර්ධජ දන්තජ භේදය සහිත එහෙත් B වර්ගයේ වියරණයෙන්. එයට අවශ්‍ය නම් තාවකාලික ව කට බසේ ව්‍යාකරණය කියාත් කිව හැකියි.)

    දැන් නාමල්, උදාහරණයක් දක්වනු පිණිස පමණක් ඔබේ න ණ ල ළ වහර “වැරදි” කීපයක් හා වෙනත් අක්ෂර වින්‍යාස වැරදි කීපයක් නිවැරදි කිරීමට ඉඩ දෙන්න (මම න ණ ල ළ සමරූපී කර මූර්ධජ භාවිතය ඉවත් කළ යුතු ය යි එනම් B පන්නයේ වියරණය පිළිගන්නා අයෙක්. ඒ නිසා මේ දක්වන්නේ උදාහරණයක් පමණයි.ඔබව අපහසුවට පත් කිරීමට නෙවෙයි.)

    සංඝඨක – සංඝටක විය යුතුයි
    සමණළ – සමනල විය යුතුයි
    සිතුනත් – සිතුණත් විය යුතුයි
    කොළුකාර – කොලුකාර විය යුතුයි
    ලිං – ළිං විය යුතුයි
    සළකන – සලකන විය යුතුයි
    වෙනස් කල – වෙනස් කළ විය යුතුයි

    මේ කීපයක් පමණයි.

    එසේ ම ව්‍යාකරණ සම්ප්‍රදාය A යටතේ ලිවීමට උත්සාහ කරන ඔබ සිදු කර ඇති වියරණ “වැරදි” බලන්න: “අමරසේකරයන් මෙසේ කියති”
    එය A වර්ගයේ වියරණයට අනුව නම් “අමරසේකරයෝ මෙසේ කියති” විය යුතු යි. ඔබ මීට පෙරත් “මා නොදනිමි වැනි” යෙදුම් පාවිච්චි කර තිබෙනවා. එය මම නොදනිමි යනුවෙන් “නිවැරදි” විය යුතු යි. ඇයි මෙහෙම වෙන්නේ? මම මෙයත් අනුගමනය නොකරන නිසා ඔබව විවේචනය කිරීමට නෙවෙයි මේ උදාහරණ දෙන්නේ. මඳක් සාවධාන ව බලන්න. ඇයි මෙහෙම වෙන්නේ? ඔබ ඇමෙරිකාවේ වෙසෙමින් සිංහල භාවිතය අඩු ජීවිතයක් ගත කරන නිසා ද? ඒක හේතුවක් නෙවෙයි. එහෙම නම් ඔබ බැලිය යුතුයි ජීවතුන් අර සිටින ලොකු ම සිංහල පණ්ඩිතයන් උපදේශක මණ්ඩලවල තබාගෙන සම්පාදිත පාසැල් පෙළ පොත්වල ඇති වියරණ හා ණනලණ ආශ්‍රිත අක්ෂර වින්‍යාස “වැරදි”. ඇයි මෙහෙම වෙන්නේ. අද සිංහල පුවත් පතක් පෙරළා බලන්න. මොන තරම් “වැරදි” ගොඩක් ද? ඇයි මේ? මම දන්නෙ නෑ කියලා හිතන අපි මම නොදනිමි කියලා ලියන්න ගියාම අමාරුවේ වැටෙනවා තමයි. අමරසේකරයන් මෙහෙම කියනවා කීවාම ඇති වැරැද්ද මොකක්ද? ඇත්ත වශයෙන් අපේ චින්තනය වැඩ කරන්නේ අන්න ඒ ව්‍යාකරණත් එක්කයි. ඒකයි අර A පන්නයේ වියරණ ඉගෙනගන්න අමාරු. “නිවැරදි” අක්ෂර වින්‍යාසයෙන් ලියන්න සමත් කීයෙන් කී දෙනා ද? ඇයි මෙහෙම වෙන්නේ? මේ මූර්ධජ දන්තජ අක්ෂරවල අවශ්‍යතාව කුමක් ද‍? මූර්ධජ යනු මුදුනින් උපන්. දන්තජ යනු දතින් උපන්. මේක උච්චාරණ වෙනසක් සම්බන්ධ කතාවක්. අද මෙහෙම දෙයාකාරයකට නයනු ලයනු උච්චාරණය කෙරෙන්නේ නෑ. දෙක ම එක ම ශබ්දය තමයි නංවන්නේ. ඒ නිසා අද වන විට මේවායේ යෝජනය/යෙදීම පිළිබඳ තිබෙන නීති රීති පවා ව්‍යාකූල යි. බසෙහි කෙළපත් වුවත් කිසිදු තාර්කික, පිළිගත හැකි එකඟතාවකට න ණ ල ණ වහර හි මූර්ධජ දන්තජ භා‍විතය ගැන එළඹෙන්න අපහසුයි. කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් අපි පැරණි පොතපත කරා ගිහින් සම්මතයන් හදා ගමු කියල. ඒත් ඇත්ත කතාව තමයි ඔය පැරණි පොතපත තුළත් මේ ගැන විශ්ව ව්‍යාපී එකඟතාවත් නැති බව! මේ ව්‍යවහාරයන් බොහෝ දෙනෙකුට ජීර්ණය නොවෙන්නෙත්, බහුතරයක් දෙනා “වැරදියට” ව්‍යවහාර කරන්නෙත් ඇත්තට ම ජීර්ණය කරගත හැකි තාර්කික පදනමක් මේ වෙනසට නැති නිසයි. අපේ භාෂා භාවිතයත් මේ නීති රීතීනුත් අතර සැබෑ සම්බන්ධයක් නැති නිසා ව්‍යාකරණ පන්ති, පාඩම් සියල්ල අසාර්ථක වෙලා තියෙනවා. සාමාන්‍යපෙළින් ඉහළට සිංහල ඉගෙනගන්නේ ඒ පිළිබඳ විශේෂඥ ඥානයක් අවශ්‍ය ඒ ක්ෂේත්‍රවල නියැළෙන්න බලාපොරොත්ත්‍ර වෙන සුළුතරයක් නෙ. අපි සාමාන්‍ය පෙළ වෙන තුරු කොයි තකරම් නම් වියරණ පාඩම් ඉගෙන ගන්නවද? ඒ සියල්ල අසාර්ථක වෙන්න හේතුව ඉගෙන ගන්න අයගෙවත් උගන්නන අයගෙවත් වැරැද්දක් නෙමෙයි. උගන්නනු ලබන දෙයෙහි අර්බුදයක්. එම වියරණය වර්තමාන සිංහල භාෂාවට අසම්බන්ධිතයි! දැන් ඉතින් බොහෝ විට සිද්ධ වෙමින් තියෙන්නෙ අහඹු ලෙස වගේ හැම ණ යන්න ම හැම ල යන්න ම කලවමේ භාවිතා වෙන එක නේ ද? ඔබේ ලිපියේ අක්ෂර වින්‍යාසය පෙන්නුම් කරන්නෙත් ඒක.

    ඇත්ත තත්වය නම් උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ගැන පවා මේ A වර්ගයේ ව්‍යාකරණය තුළ සම්මුතියක ගොඩනැගිය හැක්කේ නැහැ.(මේ ගැන ඉදිරි ලිපියක සවිස්තරාත්මක ව සාකච්ඡා කිරීමට මම අදහස් කරනවා)

    අනිත් කාරණය අර්ථ ජනනය සම්බන්ධ කතාවක්. තන හෝ තණ පිළිබඳ කතාව ඉතා පරණ උදාහරණයක්. ඒ වගේ ම අත්තනෝමතික උදාහරණයක්. භාෂාවේ වදන් අර්ථ ජනනය කරන්නේ වාක්‍ය සන්දර්භය තුළින්. මේ අදාළ ජිනරතන සිදු කළේ කුමක් දැයි වටහා ගැනීමට අදාළ වාක්‍යය පිහිටි සන්දර්භය උපකාරී වෙනවා. සන්දර්භයෙන් වියුක්ත කොට ගත් කල්හි මෙවැනි ප්‍රශ්න මතු කරන වචන න ණ ල ළ තිබිය දීත් සිංහලයේත් ඉංගිරිසි ප්‍රංශ ඇතුළු වෙනත් බොහෝ භාෂාවලත් දක්නට ලැබෙනවා. උදාහරණයකට ගන්න “මල” “මළ” කියලා වචනයකුත් තියෙනවා. මේ ‍දෙකටම තේරුම් ගණනාවකුත් තිබෙන බව අපි දන්නවනෙ. “මල” පහ වීම, “මළ” පහ වීම, “මළ” පැනීම, “මල” පැනීම. ඔන්න තවත් උදාහරණයක්. සන්දර්භයකින් වියුක්ත නිසා ඕන දෙයක් හිතාගන්න පුළුවන්. ඒත් මේ යෙදුම් වාක්‍ය සන්දර්භයක් තුළ, භාවිතයට ගත් කල්හි එවැනි අර්බුදයක් පැන නඟින්නේ නෑ. ඒ වගේ ම අතිරේක අකුරු කීපයකින් භාෂාව සිත්තරකුගේ පලත්තේ වර්ණ සේ විචිත්‍ර වන්නේ වත් ප්‍රකාශන ශක්‍යතාව වැඩි වන්නේ වත් නෑ. එය සිදු වන්නේ භාෂාව භාවිතා කර අප කරන දෙය මතයි. ඔබ කියවා තිබෙනවා නම් සිරි ගුනසිංහගේ කවි, ශාස්ත්‍රීය ලිපි, අජිත් තිලකසේන මහතාගේ කෙට්කතා, ඔහු ලියූ භාෂා අර්බුදයේ ගමන් මග වැනි ප්‍රබන්ධ හෝ කවි නෙවන වෙනත් කෘති, ණ ළ ආදියෙන් තොර ව සුඛග්‍රාහී මෙන්ම මනරම් භාෂා ශෛලියක් ද ඔවුන් ගොඩනගා තිබෙන බව පෙනෙනු ඇති. ණ යනු ළ යනු වලින් නෙමෙයි අන්තර්ගතයෙනුයි බසේ රුව ගුණ තේජස වැඩෙන්නේ.

    ඔබ ඉදිරිපත් කරන එක් කරුණක් සාවද්‍යයි. එය තමයි කරුණු අංක 2:

    2.නමුත් සිරි ගුනසිංහ, අජිත් තිලකසේන අදීන් උත්සාහ කළේ සිංහල කටවහර ඇසුරින් ලේසි ව්‍යවහාර බාසාවක් හදාගන්නට බවත් එහෙම කෙරුවානං මේ “ඔළුව නැති ඔළු” චැනල්වල සිංග්ලිෂ් ඇදබානා උන් සිංග්ලිෂ් වෙනුවට අර ලේසි සිංහල කතා කරනු ඇති බව ලියනගේ අමරකීර්ති කියයි.

    ඇත්තට ම අමරකීර්ති එහෙම කියලා නැහැ. යම් හෙයකින් අමරකීර්ති හෝ කවරෙක් හෝ එහෙම කීවත් සිරි ගුණසිංහත් තිලකසේනත් කර ඇත්තේ එය නෙවෙයි. හොඳින් බලන්න මම මේ කියන දෙය. ඔබ අර්ථකථනය කරන්න වෑයම් කරන දෙයත් ඇත්තට ම මේ ලේඛකයින් සිදු කරමින් සිටින දෙයත් අතරඑ වෙනස. ඔවුන් “ව්‍යවහාර බාසාවක්” කටවහරින් හදාගන්න වෑයම් කළා නෙවෙයි. ව්‍යවහාර භාෂාවේ ව්‍යාකරණය උපයෝගී කරගත්තා පමණයි. කට බසේ ව්‍යාකරණය උපයෝගී කරගැනීමත් කට බසේ ව්‍යවහාර වන සීමිත වංමාලාවෙන් සෑම සියලු දෙය ම ලිවීමත් අතර අහසට පොළව මෙන් වෙනසක් පවතිනවා. එය හුදෙක් “ලේසි බාසාවක්” හදා ගැනීමක් නෙවෙයි. අදාළ විෂයන්හි දී අදාළ පරිදි පරිභාෂා උපයෝගී කරගනිමින් කට බසේ ව්‍යාකරණයෙන් ලිවීම තමයි ඔවුන් යෝජනා කරන්නෙත්, ක්‍රියාත්මක කරන්නෙත්. සිරි ගුණසිංහගෙන් මම උපුටා දක්වන්න කැමතියි :

    “සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතුවල දී භාවිතා කරන භාෂාවෙන් හැම දෙයක් ම ලියන්න පුළුවනිය කියලා සිතීමත් හැම දෙයක් ම පන්ඩිතයන්ගෙ භාෂාවෙන් ලිය යුතුයි කියලා සිතීමත් යන දෙකම වැරදියි කියලයි අපට හැ‍ඟෙන්නේ. ශාස්ත්‍රීය කෘතියක් ලිවීමේ දී උපයෝගී කරගත යුතු භාෂා විලාසය නවකතාවක් ලිවීමේ දී උපයෝගී කරගන්න බැහැ. යම්කිසි සිද්ධියක් විස්තර කිරීමට පුවත්පතකට වාර්තාවක් සපයන කොට ශාස්ත්‍රීය භාෂා විලාසයක් වහල් කරගැනීම සුදුසුයි කියලා හිතන්නත් බැහැ. ඒ වගේ ම ගෙදර දොරේ, පාරේ තොටේ කතා කරන භාෂාවෙන් ශාස්ත්‍රීය කෘතියක් හරි උසස් නවකතාවක් හරි ලියන්න බැහැ. ශාස්ත්‍රීය භාෂාවේත් නවකතා භාෂාවේත් පත්තර භාෂාවේත් වෙනස තියෙන්නේ ව්‍යාකරනය, පද සංඝටනාව වැනි භාෂාවේ සන්දර්භයේ මූලධර්මලව නෙවෙයි ප්‍රකාශ කරන අදහස් උදහස් හැඟීම් ආදියට ආවේනික වචන මාලාවෙයි කියන එකයි අපේ අදහස. ලියන භාෂාවත් කතා කරන භාෂාවත් අතර තිබිය යුතු වෙනස මෙපමනයි. ශාස්ත්‍රීය කෘතියකින් ප්‍රකාශ කරන අදහස් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී හුවමාරු වන අදහස්වලට වැඩිය වෙනස් මේ නිසා ම ඒ අදහස් ප්‍රකාශ කිරීමට උපයෝගී කරගන්නා වචන එදිනෙදා ජීවිතයේ දී පර්හරනය කරන වචනවලට වැජිය වෙනස් වීම වලක්වන්න බැහැ” (සිරි ගුනසිංහ: සිංහලයේ ලියන බස නම් ලිපිය, අජිත් තිලකසේන සංස්කරණය කළ අදට ඔබින බස පොතේ 46 පිටුවෙන්)

    මේ ලිපි පෙළේ දිගින් දිගට ම පැහැදිලි කෙරෙන්නේ ලියන බස සඳහා කට බසේ වියරණය ගැනීම ගැන මිස කට බස යොදාගැනීම ගැන නෙවෙයි. එෆ් එම් නාලිකා ගැන හෝ එවැනි කතා බහ ඇති වීමට දශක ගණනාවකට පෙර සිට සාකච්ඡාවට බඳුන් වන සිංහල භාෂාව අනාගතය සඳහා සුරැකීම හා බැඳීගත් ප්‍රශ්නයක් මේක. ඔබට වත් තව බොහෝ දෙනෙකුට(සිංහල විශේෂවේදී උපාධිධරයන් ද ඇතුළුව) වත් ඉගෙන ජීර්ණය කරගත නොහැකි ව පවතින මළ වියරණයක් වෙනුව සුඛග්‍රාහී වියරණය කුමක් දැයි වර්තමාන ව්‍යාවහාරය තුළින් හඳුනා එය උපුටා වර්ධනය වන්ට ඉඩ නොදුන හොත් එය භාෂාව ඉගැන්වීමට හා එහි අනාගතයට මත් නිෂේධනාත්මක බලපෑමක් එල්ල කරනු නිසැකයි.

    අමරකීර්ති ඉදිරිපත් කළ තර්කය සම්බන්ධිත වූයේ අක්ෂර සමරූපී කිරීම මගින් උපහාසය හෝ වෙනත් සාහිත්‍යික රසයක් ඉස්මතු කිරීම සමග නෙවෙයි. එය කෙලින් ම එල්ල ව තිබුණේ සිරිසුමන හිමියන් ටත් නෙවෙයි. මම මේ තරම් දිගට ලීවේ ඔබ මේ ගැන සැබෑ උනන්දුවකින් සිටින බවක් පෙනෙන නිසා. අජිත් තිලකසේන, ම.ව. සුගතපාල ද සිල්වා හා සිරි ගුනසිංහ ආදීන් බස ගැන මතු කළ මේ අදහස් දැන් ලිපි සංග්‍රහයක් ලෙස කියවන්න තිබෙනවා. එහි නම අදට ඔබින බස. ප්‍රකාශනය එස්.ගොඩගේ සහ සහෝදරයෝ. ඔබ ඊමේල් මගින් තැපැල් ලිපිනය දැන්නුවොත් මට වුණත් පිටපතක් ලැබෙන්න සලස්වන්න පුළුවන්. දෙවෙනි, තුන්වෙනි පාර්ශ්ව වෙතින් කියවා අර මුල් අදහස ගැන විකෘත අදහසක් ඇති කරගන්නවාට වඩා එය යහපත් බව මට හැඟුණා. අනිත් කාරණය ගැන මගේ නිරීක්ෂණයක් ඉදිරිපත් කරන්නත් මට හිතෙනවා. ඒත් එයින් ඔබේ හිත රිදවන්න එහෙම නෙවෙයි. ඇත්ත ඒකයි. ඔබ එදිනෙදා සිංහල භාවිතා කරන කෙනෙක් නෙවෙයි.(ඔබ එහෙම කියනවා) අමරකීර්තිත්, මමත්, සිරි ගුනසිංහත්, තිලකසේනත් යන මේ හැමෝම දිනපතා එම අර්බුදයට (එනම් සිංහලෙන් ලිවීමේ, සන්නිවේදනය කිරීමේ ගැටලුවට) මුහුණ දෙන අය. ඒ නිසා ඇතැම් විට සිංහල බස ඔබට නැරඹීමට පමණක් තිබෙන අගනා කෞතුක වටිනාකමකින් යුතු යමක් සේ හැඟීමට ඉඩ තියෙනවා. නමුත් සජීවීව ලියන කියන සන්නිවේදනයේ යෙදෙන ලේඛකයින්ගෙ පුධාන අවශ්‍යතාව බස වැඩි වැඩියෙන් සුඛනම්‍ය ද සුඛග්‍රාහී ද කරගැනීම යි. එහි අවශ්‍යතාව ඔවුන්ට එදිනෙදා දැනෙනවා. ඔබෙන් ඔවැනි අදහසකුත් අමරකීර්තිගෙන් එවැනි අදහසකුත් එළියට එන්න එයත් හේතුවක් වෙන්න ඇති. තවත් කාරණයක් තමයි සිංහල භාෂාව පවතිනවා ය එය අනාගතය සඳහා සුරැකෙනවාය යන්නෙන් අදහස් වන්නේ සීමිත උගතුන් ස්තරයක් අතර පමණක් වාද විවාද සහිත ව එය පැවතීම නෙවෙයි. සිංහල දන්නා බහුතරයක් දෙනාටත් සිංහල නොවන බොහෝ අයටත් එය උගෙන භාවිතයට ගත හැකි අන්දමේ තත්වයක බස පැවතුණොත් පමණයි නේ ද? සීමිත උගතුන් ස්තරයක් අත පමණක් “නිවැරදි” බස පැවතීම පිළිබඳ උදාහරණයක් හැටියට සංස්කෘත වැනි මියගිය භාෂා දක්වන්න පුළුවන්. අපට අවශ්‍ය එහෙම තත්වයක් නෙමෙයි නේ ද? අනිත් එක අමරකීර්තිව හෝ වෙනත් කාව හරි “පේන්න බැරි” තරම් කේන්ති යන හේතු අපට තිබුණත් ශාස්ත්‍රීය ප්‍රශ්නයක්, භාෂාවේ හැඩගැස්ම සහ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැඟි කල්හි ආත්ම දමනයෙන් යුක්ත ව කියන්නේ කවුද යන්න නො ව කියන්නේ කුමක් ද යන්න ගැන සාවධාන විය යුතු යි. වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් පවත්නා පුද්ගලබද්ධ වෛරයන් ඉවත ලිය යුතුයි. පුද්ගලාලම්බනයත් පුද්ගලබද්ධ වෛරයත් යන දෙකෙන් එකක් හෝ පැමිණි තැන ශාස්ත්‍රීය සාකච්ඡාව ඇණ හිටිනවා. ස්තුතියි.

  2. නාමල් අමරසිංහ said,

    July 11, 2007 at 6:28 am

    හිතවත් ආනන්ද,
    ඔබේ දිගු පිළිතුරට බොහොම ස්තූතියි.
    පළමුවෙන්ම මාගේ අක්ෂර වින්‍යාස හා ව්‍යාකරන දෝෂ පෙන්වාදුන්නාට පින්.
    හැබැයි මම මගේ ලිපියේ මුලින්ම කියා තිබුනා ඒ බව: “මට(අඩුම තරමින් හරියට නණලළ ලියාගැනීමට වත් නොහැකි)”. ඉතින් ඒ මොනවා උනත් මටත් ටිකක් හරි සිංහල හරියට ඉගනගන්න වත් ලැබෙයි මේ හරඹය ඉවරවෙනකොට.

    අනිත් කාරණය මට නම් අමරකීර්තිව හෝ වෙනත් කාව හරි “පේන්න බැරි” තරම් කේන්ති යන හේතුවක් නැහැ. ඇත්තටම මම ඉතාමත් කැමති තරුණ ලේඛකයෙක් තමයි අමරකීර්ති. මට ටිකක් තද උනේ ඇත්තටම අමරසේකරගේ කතාවට. ඔයවිදියට හැමෝටම ගහන්න ගියොත් මොකාද ඉතිරි වෙන්නේ.
    මම මේ බ්ලොග් සටහන් ලියන්න උත්සාහකරන්නේ තරමක් හාස්‍ය ජනක ශෛලියකින් (ඒක ඒවිදියට නොදැනෙන්නේ මගේ අදකෂකම වියහැකියි). ඉතින් මම ලියන සමහර දේ “ආත්ම දමනයක්” නැතිව ලියනවා කියලා හිතෙනවා නම් මට සමාවන්න.

    ඔබ ඉදිරිපත් කරන තර්කයට මගේ අදහස් මා පසුව දක්වන්නම්.

    ස්තූතියි!
    නාමල්

  3. poojitha said,

    July 16, 2007 at 9:52 am

    ඔබගේ ලිපිය හරිම රසවත්,ස්තුතිය

  4. August 4, 2007 at 5:27 am

    ලිපිය ඉතාමත් රසවත්… තව තව රසවත් තොරතුරු ඇතුලත් කරන්න.. ඔබට සුභ පැතුම්
    රන්දුනු
    http://trandunu.blogspot.com

  5. පැතුම් said,

    September 5, 2007 at 7:02 am

    හරිම රසවත් සාකච්ඡාවක්.. පෙන්නුවාට ආන්නදවර්ධනට තුති..
    මමත් නාමල් වගේම (අඩුම තරමින් හරියට නණලළ ලියාගැනීමට වත් නොහැකි) යාන්තම් ස:පෙ දක්වා පමණක් සිංහල ඉගෙන ගත්ත කොල්ලෙක්..
    මම 10 වසරෙදි විතර මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ බවතරණය පොත කියෙව්වා. මට හොඳට මතකයි ඒකෙ තිබුණා වියාඝ්‍රයා කියන වචනෙ(ලියපු එක හරියට පෙනෙයි ද දන්නෙ.ලිව්වෙ හරියි කියල සම්මත වියාඝ්‍රයා (යංසය සහිත)) ලියල තිබුණෙ වියාග්ගරයා කියල (මම හිතන්නෙ ඒක කියවල තියෙන අය දැකල ඇති). තව සිංහල වියාකරණ,ණ න ළ ල වෙනස් කම් තිබුණ ද කියල මට මතක නෑ. මතක දේ කියන්නම්.

    මම ඕක කියවල පහුවදා අපේ සිංහල සර් ගෙන් ඇහුවා එහෙම ලියන එක හරිද කියල. එතකොට සිංහල සර් කිව්වෙ මාර්ටින් වික්‍රමසිංහ එහෙම ලිව්වට කමක් නෑ ඔයා හරියට ලියන්න නැත්නම් විභාගෙ ෆේල් වෙයි කියල. 10 වසරෙ හිටපු මම සිංහල භාෂාවෙ හරි වැරැද්ද හොයන්න ගියෙ නෑ.

    මම හිතන්නෙ අපි හැමෝම අද මේ විදියට මේ ගැන සාකච්ඡා කරන්නෙ අපි නණ ළ ල සහ
    අනෙකුත් වියාකරණ ගැන ඉගෙන ගෙන එහෙම දෙයක් තියෙනවා කියල දන්න නිසා. අනාගතයෙදි න ණ ළ ල නැති, කෙස් පැළෙන වියාකරණ නැති භාවිතයට ලේසි වන්නට එකතු වූ සිංග්ලිෂ් වචන ද සහිත සිංහල ඉගෙන ගන්න අයට සිංහල වලට වඩා ඉංග්‍රීසිම හොඳයි කියල හිතෙන්නත් ඉඩ තියෙනව නේද? නිතරම පරිගණකයත් එක්ක ඉන්න අන්තර්ජාලයේ ජීවත් වන අනාගත කොල්ලො කෙල්ලො “අනේ ඔය භාෂා දෙකම එකයි. අපි හැමෝම දන්න ඉංග්‍රීසියෙන් ලියමු කියමු කිව්වොත්” සිංහල කියන භාෂාවට සහ සිංහල කියන ජාතියට තව අවුරුදු දෙතුන් සීයක් යනකොට මොකක් වෙයිද කියල නම් මගෙ මේ කුඩා මොළයට හිතා ගන්න අමාරුයි.. අපිත් දැන් පාලි සංස්කකෘත පාවිච්චි කරන්නෙ නෑනෙ. සිංහල ඊට වඩා ලේසියි නෙ.

    ස්තූතියි

    පැතුම්..

  6. ප්‍රියන්ත said,

    February 14, 2008 at 7:30 am

    මමත් මේ බ්ලොග් ලියන වැඩි දෙනෙකු මෙන්ම, සිංහලයේ පරතෙරට නොගිය කෙනෙක්.ඒ නිසා මටත් ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස වැරදී ගිය හැකියි. ඉතින් මට බැරි නිසා ඒවා හලා දමමු කියා කීම සාධාරණද? මට සිංහල තරමටවත් ඉංග්‍රීසි බැහැ. ඉතින් කවුරු හිරි පින්වතෙක් ඉංග්‍රීසිත් මගේ නැණ පමණට සරල කර දේවිද? ආනන්දවර්ධන මහතාත් ඔහු නිතර උපුටා දක්වන අජිත් තිලකසේනයනුත් සිංහලය ‘වැර වෑයමින්’ modify කරන්නට ගෙන යන ව්‍යාපාරය මට නම් තේරුම්ගත නොහැකියි. සිංහලයේ පමණද මෙවැනි දුෂ්කර ව්‍යාකරණ ඇත්තේ? ඉංග්‍රීසි භාෂාවේ කිසිදු තර්කාකුකූල හේතු නැති ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස නැද්ද? වෙනත් භාෂා වල නැද්ද? ඇයි ඒ භාෂා ව්‍යවහාර කරන අය ඒ අමාරු යෙදුම් වෙනස් කරනවා වෙනුවට, ඒවා විෂයයක් ලෙස හදාරන්නේ. අමාරු දේවල් සියල්ල ලේසි කරන්නට යාමත් අමාරු දේවල් දිගින් දිගටම බලෙන් පවත්වාගෙන යාමත් දෙකම එක හා සමානවම අමාරු, ඒ වගේම තේරුමක් නැති දේ බවයි මගේ හැඟීම. උදාහරණයක් කියන්නම්, අපි හැම දෙනාම භාවිත කරන මේ ඉංග්‍රීසි යතුරු පුවරුව එනම් QWERTY භාවිත කිරීමට ලේසිම යතුරු පුවරුව නොවයි. මෙයට වඩා පහසු Dvorak වැනි යතුරු පුවරු සකස් කර තිබෙනවා ගිය සියවසේ මුලදීම. නමුත් අදටත් ලෝකයේ සියයට 90 කට වඩා භාවිත වන්නේ අර අමාරුයැයි කියනුලබන QWERTY මයි. මේකට හේතුව ලෝකයේ වැඩිපුර සිටිනනේ ගතානුගතිකත්වය අගයන හණමිටි කාරයන් වීමදැයි නොදනිමි.මා නම් අගය කරන්නේ ස්වභාවාක වරණයයි. කෘත්‍රිමව ජාන විකෘති කළොත් කාටත් පළක් නැති අමුතු විශේෂ ඇති වීමේ අවදානම වැඩි නිසා.

  7. ඔහේ said,

    March 28, 2008 at 8:42 pm

    ලිපිය රසවත්.
    මාගේ අදහස අනුව නණලළ බේදය ගැටලුවක් කරගෙන දඟලන්නේ ලතින් හෝඩියේ මෙන් අක්ෂර 26 කට අප භාෂාව සීමා කල යුතු බව සිතන පිරිසක් මිස අන් කිසිවෙකු නොවේ.

  8. May 8, 2008 at 8:31 pm

    තමන් නොදන්නා නිසා, බසකින් වියරණ ඉවත් විය යුතු යැයි සිතන්නේ මහා අමනයෙකි. මේ සඳහා කුමරතුඟු මුනිදසුන්ගේ පැදියක් උදාහරණයට ගෙන දක්වමි.

    නොවියතුන් වඩිතියි,
    වියරණ වැට බිඳී නම්,
    උපන් වත මැ සිටියවුන්,
    වඩිතියි සළු හෙළන්නෙකි.

    අදහස:- නොවියත් (අඥානයින්) වැඩි වෙතැයි, වියරණ නීති අත හරින්නේ නම් ඔහු, නිර්වස්ත්‍රව සිටියවුන් (බිළිඳුන්) පැමිණේ යැයි, තම වස්ත්‍රයද, ගලවන්නෙකි. 😛

    ප.ලි. මගේ ලිවීම් වලද අඩුපාඩු තිබිය හැක, එහෙත් වියරණ අහක දමනවාට වඩා, හැකි/දන්නා උපරිමයෙන් වියරණයට අනුගත වීම යෙහෙකි යැයි සිතමි.

  9. සුභාෂ් said,

    October 28, 2008 at 10:29 am

    යකුනේ….. රටේ කරන්න මෙච්ච‍ර දේවල් තියෙද්දී මොනවද තොපි මේ අල්ලගෙන දඟලන හත් ඉලවු……?


Leave a comment